නවසීලන්තයේ සිට අන්තර්ජාලය පීරද්දී මුහුණු පොතේ සහෘදයකුගේ සටහනක් හා ඒ සමග වූ ඡායාරූපයක් දැක මෙම සටහන තබන්නට මට සිත් විය. හැට වසරකට වැඩි කාලයක් පත්තර කලා ජීවිතයේ සැරිසරූ මට නොයෙක් ආකාරයේ සිත් බිඳීම්වලට මුහුණ දීමට සිදුවු වාර අනන්තය. එයින් මා වඩාත් කම්පාවට පත් සිද්ධිය මගේ සිහියට නැඟුණේ ඒ මා ප්‍රිය කළ නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකු වූ අනුරුද්ධ ලොකුහපුආරච්චි තැබූ ඒ සටහන කියවද්දී ය. ඔහු සටහන තබා තිබුණේ ඔහු ගැන නොව අපේ කාලයේ පත්තරවල අභීතව සේවය කළ, සුවිශේෂ වීරයකු ගැනය. පුංචි සිරුරක් හිමි අයෙකු වුවත් ඔහු ගවේෂණාත්මක පුවත්පත්කලාවේ හා සන්නිවේදන ක්ෂේත්රයේ පතාක යෝධයකු විය. ඔහු කර්තෘ පදවිය දරා නතර වූයේ නැත. තමන් ම ගවේෂණාත්මක පුවත් හඹා ගියේ ය. ඒවා පළ කළා පමණක් නොව ඒ වෙනුවෙන් අධිකරණයට පවා ගියේය. මීට වසර 16කට පෙර මෙරට විසූ අභීත ම පත්රකලාවේදියාය. ඔහු නමින් ලසන්ත මනිලාල් වික්‍රමතුංග ය.
“අදින් දහසය වසරකට පෙර ඇනීමෙන් මිනිසුන් මරා දැමීමට තැනූ ආයුධයක් භාවිතා කර දෙනෝදාහක් යනෙන පාරකදී මරා දැමුනු පත්තර සගයෙකුගේ මිනීවළක් මත ඉටිපන්දමක් පත්තු කරන්නට එකතු වූ කුඩා හිතවතුන් පිරිසකට මම ද අද එකතු වුනෙමි. මට බොරැල්ල කනත්ත නුහුරු නුපුරුදු තැනක් නොවේය. එහෙත් අද මට එය සම්පූර්ණයෙන්ම, මා මීට කාලෙකට පෙර ආ බොරැල්ල කනත්ත මෙන් නොහැඟවේ. එය මට අද දැනෙන්නේ අනේක විධ රහස් කන්දාරවක් සඟවා ගෙන සිටින භූමියක් ලෙසය. මේ භූමියට කතා කළ හැකිනම් කෙබඳු කතාවක් කියනු ඇත්දැයි මට සිතේ. ඒ බිම අනන්ත අප්‍රමාණ වචන සහිත වූවද, නිහඬ බව එහි ව්‍යාකරණ බව මම දනිමි.
ඒ කෙසේ වෙතත්, මා සොහොන් කොත් අතරින් පිය නගමින්, එතෙක් නොදුටු කුඩා සොහොන් බිමක් සොයා පියවර මැන්නේ දුරදීම දැකිය හැකි විශාල සෙනඟකගේ දර්ශනයක් දැකීමේ අපේක්ෂාවෙන්ය. එහෙත් මරණය දක්වා තමන් ළඟ සිටිනු ඇතැයි කාලයකට පෙර ලසන්ත වික්‍රමතුංග සිතා සිටින්නට ඇති, කුඩා පිරිසක් ඔහු පොළොවට දිරාපත්ව ඇති ඒ කුඩා බිම් කඩ අසල හිස් බිමට බරකරගන සිටියේය. ඔහු වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කර පත්තර සගයන් ලෙස අප දෙදෙනා වෙත වූ මතකයන් මම මොහොතකට ආවර්ජනය කර පසෙකට වූවෙමි. එහි සිටි ඇතැම් පැරණි සගයන්ව මට හඳුනා ගත නොහැකි වුවත්, වසර ගණනකට පසුව මා දුටු දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහෝදරිය කනට කොඳුරා කීවේ “තව ටිකෙන් ඔයාගෙ සොහොනත් ඔය එහා පැත්තෙන් තියෙන්න තිබුනා” කියාය.
මා රටින් බැහැරව ගොස්, දින පහළොවකට පසු, ලසන්ත වික්රමතුංගව මරා දමමින් එතෙක් සීතල යුද්ධයක් පමණක්ව තිබූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එරෙහි දැවැන්ත යුද්ධ පෙරමුණක් විවෘත විය. එක් පසෙක පෑනත් කැමරාවත් ගත් මිනිසුන් සහ අනෙක් පසින් දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයක අඳුරු සෙවණැළි අතර හොඳින් පුහුණු වූ සන්නද්ධ කණ්ඩායම් විය. බලය විසින් උන්මත්තකයෙක් බවට පත් කළ බෙලහීන මිනිහෙක් එම කණ්ඩායමේ අවසාන අණදෙන්නා බව සිවිල් සමාජයේ නොපිළිගන්නා අයෙකු නැත. එහෙත් නීතිය සහ එහි ක්‍රියාත්මක බව පිළිබඳ බරපතල සැක සංකා ඉතිරි කරමින් අද ද, ලසන්තගේ මරණය පිළිබඳ ඔහුගේ හිතවතුන් සහ මානව ක්‍රියාධරයන් එම සොහොන් වළ ළඟ සිටගෙන මෙනෙහි කරන්නේ, ලසන්තව මරා දැමීමට අණ දුන් අය විත්ති කූඩුවට නංවන දිනය කවදාදැයි මිසක් අනෙකක් නොවේය.
චෞර ග්රහණයෙන් මිදුනු මේ දේශපාලන වට පිටාව තුළ, ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ අදහස් ප්‍රකාශ කිරීම නිසා මිනිසුන් ඝාතනය කර දැමීම නවතා දැමීමේ පරම උත්සාහය සඳහා පූර්වාදර්ශ සැපයීමට ලසන්තගේ ඝාතකයා පිටුපස සිටි අණදෙන්නා විත්ති කූඩුවට ගෙන ඒම අනිවාර්යය සාධකයක් බව සියලු මානව හිතවාදීන් සහ මාධ්‍ය සහෝදරයන් පිළිගන්නා බවට සැකයක් නැත. මරාදැමූ අපගේ මාධ්‍ය සගයන් ඔවුන් ඝාතනයට ලක් වූ දින අනු පිළිවෙළින් ගත් විට, ලසන්ත වික්‍රමතුංග පළමුවැනියා නොවන්නේය.
• ප්‍රේමකීර්ති ද අල්විස් - ශ්‍රී ලංකා ගුවන් විදුලි හා රූපවාහිනී විකාශකයෙකි.1989 ජූලි 31
• සාගරිකා ගෝමස් - රජයේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්රවෘත්ති විකාශිකාවකි.1989 සැප්තැම්බර් 13
• රිචඩ් ද සොයිසා - මාධ්‍යවේදියෙකි, මානව හිමිකම් ක්රියාකාරිකයෙකි, නාට්‍ය අධ්යක්ෂවරයෙකි, නළුවෙකි. 1990 පෙබරවාරි 18
• කේ.එස්. රාජා - ජනප්‍රිය ලංකා ගුවන්විදුලි නිවේදක, ඊපීඩීපී විසින් වස පානය කරවන ලදී, 1994
• රෝහණ කුමාර - 1999 සැප්තැම්බර් 7 වන දින, ‘සටන’ සිංහල පුවත්පතේ ප්‍රධාන කර්තෘ.
• අත්පුතරාජා නඩරාජා - දෙමළ සතිපතා පත්‍රයේ ප්‍රධාන කර්තෘ, 1999 නොවැම්බර් 2
• මයිල්වාගනම් නිමල්රාජන් - යාපනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. 2000 ඔක්තෝබර් 19
• අයියතුරෙයි නඩේසන් - ශ්‍රී ලාංකික දෙමළ මාධ්‍යවේදියෙකි. 2004 මැයි 31
• බාලන්දරාජා අයියර් - ශ්‍රී ලාංකික දෙමළ ක්රියාකාරිකයෙකි, ලේඛකයෙකි, කවියෙකි.16 අගෝස්තු 2004
• තාරකී සිවරාම් - ජනප්‍රිය දෙමළ මාධ්‍යවේදිනියකි. 2005 අප්‍රේල් 28
• රයිලංගි සෙල්වරාජා - ජනප්‍රිය දෙමළ විකාශිකා සහ හිටපු නිළියක්,12 අගෝස්තු 2005
• සුබ්‍රමනියම් සුගීර්ධරාජන් - 2006 ජනවාරි 24, දෙමළ දිනපතා සුඩර් ඔලි පත්‍රය.
• සම්පත් ලක්මාල් ද සිල්වා - ස්වාධීන මාධ්‍ය සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකි, 2 ජූලි 2006
• සුරේෂ් කුමාර් සහ රංජිත් කුමාර සිද්ධියන් - යාපනයේ උදයන් දෙමළ පුවත්පත, 2 මැයි 2006
• සෙල්වරාජා රජිවර්නම් - යාපනයේ දෙමළ මාධ්‍යවේදියෙකි, 2007 අප්‍රේල් 29
• චන්ද්‍රබෝස් සුතාහරන් - 2007 අප්‍රේල් 16, දෙමළ සඟරාවක් වන Nilam හි කර්තෘ
• පී. දේවකුමාරන් - දෙමළ රූපවාහිනී මාධ්‍යවේදියෙකි. 2008 මැයි 28
• ලසන්ත වික්‍රමතුංග - ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ මාධ්‍යවේදියෙකි, නීතිඥයෙකි, දේශපාලනඥයෙකි, විකාශකයෙකි, මානව හිමිකම් ක්රියාකාරිකයෙකි. 2009 ජනවාරි 8
• ප්‍රගීත් එක්නැළිගොඩ - කාටූන් ශිල්පියෙකි, මාධ්‍යවේදීයෙකි. 2010 ජනවාරි 10.
ලසන්තගේ වික්රමතුංගගේ සහ ප්‍රගීත් එක්නැළිගොඩගේ නමින් පසුව මෙම ලැයිස්තුව නිම කිරීමේ ඓතිහාසික වගකීම ඇත්තේ ජනතාව විසින් පරමාධිපත්‍යය පවරා දුන් රාජ්‍ය අධිකාරියට බව ප්‍රතික්ෂේප කළ නොහැක. ඒ සඳහා ඇති උත්තරීතර ක්‍රියාමාර්ගය ඇත්තේ මෙතෙක් නීතිය නිසියාකරව ක්‍රියාත්මක වීම සඳහා බාධා කරන පැරණි දේශපාලනයේ බලපෑම් ඉවත් කිරීමය. එය ලසන්තට සහ ප්රගීත්ටත්, එයට පෙර මිය ගිය අපගේ සහෝදරවරුන්ටත් දැක්විය හැකි එම අවසාන ගෞරවයයි.
ඔහුගේ සොහොනට අවසන් ගෞරව දැක්වීමෙන් පසු, මා ලසන්තගේ සහෝදරයා වන ලාල් වික්රමතුංගට සමීප වී මාව හඳුන්වා දුන්නෙමි. “මට මතකයි ඔයාව අනුරුද්ධ, අපි ශිෂ්ට සම්පන්න රටක් ලෙස හිත හදාගෙන මෙතනින් ඉදිරියට යන්න නම්, මිනීමරුවාට නියෝග දුන් අය නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.”
අනුරුද්ධගේ සටහන මෙතැනින් අවසන් වෙයි.
කළු හෙල්මට් පැලඳි කළු ඇඳ ගත් මිනීමරුවන් ලසන්තට පහර දී පලා ගිය පසු සෙනඟ ඔහු රිය අසලට ගොස් ඔහු කළුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත. සැත්කම් කීපයකට ම භාජනය කළ ද වෛද්‍යවරුනට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. මේ පිළිබඳ විස්තර අන්තර් ජාලයෙන් ලසන්ත වික්‍රමතුංග (Lasantha Wickrematunge) කියා විපරම් කිරීමෙන් දැන ගත හැකිය.
ලසන්ත මෙසේ කුරිරු ලෙස ඝාතනය කරන්න හේතුව කුමක් ද?
දැන් මෙන් තොරතුරු දැන ගැනීමේ පනතක් නොතිබුණු නිසා තොරතුරු සෙවීම, ජනතාවට ඒවා ඉදිරිපත් කිරීම, අපරාධයක් ලෙස පාලකයෝ කල්පනා කළහ. ඔහුට තමා ගැන ලිපි පුවත්පත්වලට නොලියන්නැයි එවකට ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ උසාවියෙන් දෙසතියක වාරණයක් ද ලබා ගෙන තිබුණේය. ඒත් ඒ කිසිවකින් ලසන්ත සැලුණේ නැත. ජනතා මුදල් ගසා කමින් පාලකයන් කළ දූෂණ එකින් එක සිය පුවත්පතින් හෙළි කරන්නට පටන් ගත්තේය. එයින් ප්‍රධාන එකක් වූයේ රුසියානු මිග් ප්‍රහාරක යානා මිල දී ගැනීමයි. අදාළ රටෙන් කෙළින්ම මිල දී නොගෙන, ඒවායේ නියමිත මිලට වඩා දෙගුණයකට එංගලන්තයේ ලියාපදිංචි ලිපිනයක් ඇති සමාගමක් හරහා මිල දී ගත් ආකාරය ඊට සම්බන්ධ වූ අය හෙළිදරවු කරන්නට ඔහු පටන් ගත්තේ ය. එංගලන්තයේ ලිපිනයෙහි එවැනි සමාගමක් නැති බවත්, හෙළි කළේ ඒ ලිපිනය සොයා ගිය ‘රාවය’ පුවත්පතයි. ලසන්ත මේ තොරතුරු සියල්ලක් ම ගනුදෙනු කළ ලිපි ලේඛන හා ඊට සම්බන්ධ වූ නම්ගම් සහිතව සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පත්‍රයේ පළ කළේ ය.
ඒ පමණක් නොව සුනාමි කාලයේ ලැබුණු ආධාර තැන්පත් කරන්නට, රජයේ ගිනුමෙන් පිට තැන්පත් කරන්නට, මහින්ද රාජපක්ෂ අගමැතිව සිටිය දී ආරම්භ කළ ‘හෙල්පින් හම්බන්තොට’ නමින් වූ පුද්ගලික බැංකු ගිණුම ගැන හෙළිදරවු කළේය. ඒ හැරෙන්නට ඔහු ජනාධිපති වූ පසු ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය සම්බන්ධ වූ අයථා ලෙස අධික මිලට ගත් අවි ගනුදෙනු පිළිබඳවද, අරලියගහ මන්දිරයේ ඉදිකර ගෙන යන සුඛෝපභෝගී පහසුකම් සහිත බිම්ගත නිවසක් ගැන ද තොරතුරු පළ කළේය. මේ පුවත් පළ කිරීම නිසා තමන්ට ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපති වරණයෙන් තමාට අවාසි විය හැකි නිසා එය වහාම නවත්වන්නැයිද එසේ නොකළහොත් ඔහු සහ ඔහුගේ ව්‍යාපාරය විනාශ කරන දමන බවට තර්ජනය කළේ යැයි ලසන්ත පුවත්පත ඔස්සේ ජනතාවට දැනුම් දුන්නේය.
ඒ සමගම පසුදින රාත්‍රියේ ලසන්න දේශපාලන විශ්ලේෂකයකු ලෙස සේවය කළ ‘සිරස’ ටීවී ආයතනය මුළුමනින්ම ගිනිබත් කරනු ලැබීය. සියල්ලට ම කලින් පාන්දර එම ආයතනයට ගිය ඒ සිද්ධිය හෙළා දැක්කේය. එයින් දින තුනකට පසු ලසන්තව අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීය. ඔහුව ඝාතනය කරන ලද්දේ අයථා අවි ගනුදෙනුව ගැන ගෝඨාභයට එරෙහිව අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන්නට දින කීපයක් තිබිය දීය. ඔහුගේ ඝාතනයෙන් ලෝකය ම කම්පා විය. පත්රකලා වෘත්තිය වෙනුවෙන් දිවි පිදූ ලොව කම්පාවට පත් කළ වෙනත් ශ්‍රී ලාංකික පත්රකලාවේදියකු තවත් නැත.
ඔහු ඝාතනයට ලක් වූ 2009 වසරේ දී ම ලෝකයේ විශිෂ්ටතම පත්රකලාවේදියට පිරි නැමෙන යුනෙස්කෝ/ගුයියමෝ කානෝ ලෝක නිදහස් පත්රකලා සම්මානය හිමිවුණේ ලසන්තටය. මරණින් පසු වසර ගණනාවක් තිස්සේ පත්‍රකලාවට ඔහුගෙන් වූ අමිල මෙහෙය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් පිරිනමනු ලැබීය.
ලසන්ත වික්‍රමතුංග ගේ අවසන් තිරු ලිපියේ සිංහල පරිවර්තනය
ද සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පත්‍රය ආරම්භ කර එහි ප්‍රධාන කතුවරයා වූ ඔහු ඉන් වසර15කට පසු මරුවා සොයා ගියේ සිය අවසාන තීරු ලිපිය පත්‍රයේ පළ කිරීමට සිය රියැදුරා අත යවමිනි. වසරක් 60ක් වන මගේ පුවත්පත් ජීවිතය තුළ මා සසල එකම තීරු ලිපිය මෙයයි. ශ්‍රී ලංකාවේ අංකුර පත්රකලාවේදීන් වෙනුවෙන් ඒ තීරුලිපියේ සිංහල පරිවර්තනය පහත පළ කරමි.
‘අන්තිමේදී ඔවුහූ මා සොයා පැමිණියහ.’
ශ්‍රී ලංකාවේ පුවත්කලාවේ හැර වෙනත් කිසිදු වෘත්තියක් එහි වෘත්තිකයන්ගෙන් සන්නද්ධ හමුදාවන් බේරා ගැනීම සඳහා දිවි පුදන්නැයි ඉල්ලා සිටින්නේ නැත. පසුගිය වසර කිහිපය තිස්සේ ම ස්වාධීන මාධ්‍ය වඩ වඩාත් ප්රහාරයන්ට ලක් විය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ගිනි තබා, බෝම්බ ගසා, මුද්‍රා තබා, බලහත්කාරයෙන් තමන් වෙත නම්මවා තබා ගෙන ඇත. ගණනින් කිව නොහැකි ප්‍රමාණයක් මාධ්‍යවේදීන්ට හිරිහැර, ගර්ජන, තර්ජන කරනු ලැබීය. එපමණක් නොව ඝාතනයද කර ඇත. ඒ සියලු වර්ගයේ මාධ්‍යවේදීන් අතරට එක්වීමට ලැබීම, විශේෂයෙන්ම අන්තිමයා ලෙස එක්වීමට ලැබීම, මට ගෞරවයකි. මම ඉතා දිගු කලක් තිස්සේ පුවත්පත් කලාවේ නිරතව සිටියෙමි.
ඇත්ත වශයෙන්ම, මේ 2009 සන්ඩේ ලීඩර් පුවත්පතේ 15 වැනි වසරයි. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ දේ වෙනස් වී ඇති අතර, එම වෙනසෙහි වැඩි කොටසක් සිදු වී ඇත්තේ නරක අතට බව විශේෂයෙන් මා ඔබට පැවසීමට අවශ්‍ය නැත. අපි අද සිවිල් යුද්ධයකට මැදි වී සිටිමු. ඒ නිර්දය ලෙස ගෙන යන සිවිල් යුද්ධය ආරම්භ කර ඇත්තේ ලේ පිපාසයෙහි සීමාවක් නැති නායකයන් කීපදෙනෙකු විසිනි. ත්රස්තවාදීන් විසින් හෝ රජය විසින් සිදු කරන භීෂණය දවසේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම, මිනීමැරීම ප්‍රධාන කාර්යය වී තිබේ. රජය ඒ සඳහා රිසිසේ, නිදහසේ සිය පිරිස් මෙහෙයවයි. අද මරණ තර්ජනය එල්ල වි ඇත්තේ මාධ්‍යවේදීන්ටය. හෙට විනිසුරුවන්ට විය හැකිය. මේ කණ්ඩායම් දෙකටම එල්ල වී ඇති අවදානමෙහි කිසිදු අඩු වැඩිවීමක් නැත.
එහෙනම් අපි ඇයි ඒක කරන්නේ? නිතරම මම කුතුහලයෙන් ඒ ගැන මගෙන් ම ප්‍රශ්න කරමි. ඇත්තෙන්ම, මමත් සැමියෙක්, සොඳුරු දරුවන් තිදෙනෙකුගේ පියෙක්. නීතිය හෝ පුවත්පත් කලාව හෝ වේවා මගේ වෘත්තිය අබිබවා යන වගකීම් සහ බැඳීම් මටද තිබේ. ඒ අවදානම ගැනීම වටින්නේ ද? බොහෝ දෙනා මට කියන්නේ එසේ අවදානමක් ගැනීම නුසුදුසු බවයි. මිතුරන් මට කියන්නේ නීතිඥ වෘත්තියට ආපසු යන ලෙසයි. එය වඩා හොඳ සහ ආරක්ෂිත ජීවනෝපායක් බව මම හොඳින්ම දනිමි. එසේම තවත් අය, පක්ෂදෙකේම දේශපාලන නායකයන් විවිධ අවස්ථාවලදී මා දේශපාලනයට එක්කර ගැනීමට උත්සාහ කළ අතර, මා කැමති අමාත්‍යාංශ පවා පිරිනැමීමට තරම් ඒවා දුරදිග ගියේය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අවදානම හඳුනාගත් තනාපතිවරවරුන් මට රැකවරණ හා ගමන් පහසුව සැපයීමටත්, ඔවුන්ගේ රටවල පදිංචි වීමේ අයිතියත් ලබා දීමටත්, යෝජනා කළහ. වෙන කුමකට ඇලී සිටියත්, තෝරා ගැනීමේ දී මා සිරවී නැත. එහෙත් ඒ උසස් තනතුරු, ප්‍රසිද්ධිය, වංචනිකව උපයන ලාභය සහ ආරක්ෂාවට ඉහළින් මට එන ඇමතුමක් තිබේ. ඒ හෘද සාක්ෂියේ ඇමතුමයි.
ද සන්ඩේ ලීඩර් ආන්දෝලාත්මක පුවත්පතක් වී ඇත්තේ අප ඇත්ත ඇති සැටියෙන් ම අපට පෙනෙන අයුරින් ම කියාපාන නිසයි. අපි කෙළින්ම ඉස්කෝප්පයට ඉස්කෝප්පය කියමු. හොරාට හොරා කියමු. මිනීමරුවාටත් එසේමය. කිසිවිටෙකත් වක්රෝත්තියට මුවා වී නොසිටිමු. අප පළ කරන ගවේෂණාත්මක ලිපි සමග ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමු. තමන්ට ඇති විශාල අවදානම නොතකා ඒවා අප වෙත ලබා දෙන ධෛර්වන්ත පුරවැසියන්ගේ අනුග්‍රහය අපට ලැබේ. අපි ඒ දූෂණ හා අපකීර්තිමත් සිදුවීම් එකින් එක හෙළිදරවු කෙළෙමු. ගත වූ 15 වසර තුළ ඒවා වැරදි යැයි ඔප්පු කර හෝ සාර්ථකව නඩු පවරනු ලැබුවේ ද නැත. ස්වාධීන මාධ්‍ය මහජනතාවට, හැඩවැඩ කළ, වෙස් ගැන්වූ මුහුණ වෙනුවට සැබෑ මුණ පෙන්වන කැඩපතක් ලෙස කරයි. ඔබේ ජාතියේ සැබෑ ස්වරූපය, විශේෂයෙන් ම එහි පාලන ස්වරූපය, ඔබේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් ලබා දීම පිණිස ජනතාව විසින් තෝරා පත් කරගන්නා අයගේ ක්‍රියාවන් කෙබඳුදැයි ඉගෙන ගන්නේ අපෙනි. සමහර විට මේ කැඩපතින් ඔබට දකින්නට ලැබෙන රූපය එතරම් ප්‍රසන්න එකක් නොවේ. ඔබ තනිවම ඔබේ හාන්සි පුටුවේ සිට මැසිවිලි නගන දේ ඔබට පෙන්වීමට ප්රසිද්ධීයේ කැඩපත අල්ලා ගෙන සිටින මාධ්‍යවේදීන් එය කරන්නේ විශාල අවදානමකට මුහුණ දෙමිනි. ඒ අපට පැරෙන වගකීමකි. ඒ සඳහා අපි නොපැකිළ ඉදිරිපත් වෙමු.
සෑම පුවත්පතකට ම ඊට ආවේණික දෘෂ්ටිකෝණයක් ඇත. අපේ අරමුණ කරුණු නොසඟවා ඉදිරිපත් කිරීමය. අප කැපවී සිටින්නේ ශ්‍රී ලංකාව විනිවිද භාවය ඇති, ආගමික බලපෑම් නැති, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වනු දකින්නටය. ඒ වචන දෙස සිත් යොමු කරන්න. ඒ හැම වචනයකට ම නිශ්චිත ගාම්භීර අර්ථයක් ඇත. විනිවිද භාවය යනු රජය විවෘතව ජනතාවට වග වියයුතු අතර කිසි විටෙකත් ඔවුන්ගෙ විශ්වාසය අපයෝජනයට ලක් නොකිරීමය. ආගමික බලපෑම්වලින් තොර යන්නෙන් අදහස් කෙරෙන්නේ අප වැනි බහු ජනවාර්ගික, බහු සංස්කෘතික සමාජයක සිටින පොදු ජනතාවට එකමුතුව කටයුතු කිරීමට සමබිමක් ඇති කිරීම සඳහාය. ලිබරල් යන්නේ අදහස් කරන්නේ සියලුම මනුෂ්‍යයින් වෙනස්ව නිර්මාණය කර ඇතැයි හඳුනා ගෙන ඇති නිසා අප අන් අයව පිළිගතයුතු වන්නේ ඔවුන්ගේ පියවි ස්වභාවය අනුව මිස අප ඔවුන් දකින්නට කැමති ආකාරයට නොවේ. ඒ එක්කම, ප්‍රජාතාන්ත්‍රික යන්නෙහි වැදගත්කම පැහැදිලි කිරීම ඔබට අවශ්‍ය නම්... හොඳම දේ මේ පත්‍රය මිල දී ගැනීම නතර කිරීමයි. ද සන්ඩේ ලීඩර් පත්‍රය කිසිදාක බහුජන මතය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන එය ප්‍රචාරය කරමින් එයින් ආරක්ෂාව ලැබූ පුවත්පතක් නොවේ. අපි ඊට මුහුණ දෙමු. පුවත්පත් අළෙවි කළ යුත්තේ ඒ ආකාරයටයි.
ප්‍රති විරුද්ධ මත පළ කරමින් අප මතුකළ අදහස් වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනකුට අප්‍රසන්න සේ පෙනෙන්නට ඇත. නිදසුනක් වශයෙන් බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු අතර ම ත්‍රස්තවාදය ඇති වීමට මුල් වූ හේතු විමසා බැලීම ඊට වඩා වැදගත් යන මතය අප නිරතුරුව ප්‍රකාශ කෙළෙමු. අප රජයෙන් ඇයද සිටියේ ශ්‍රී ලංකා ජනවාර්ගික අර්බූදය ත්‍රස්තවාදී දුරේක්ෂයෙන් නොබලා ඓතිහාසික සන්දර්භය තුළින් බලන ලෙසය. ත්රස්තවාදයට එරෙහිව කරන යුද්ධයක් ලෙස ගෙන ගිය රාජ්‍ය ත්‍රස්තවාදය ගැන ද අපි උද්ඝෝෂණය කළෙමු. අපේ භීතියට හේතුවූ තමන්ගේම පුරවැසියන්ට බෝම්බ හෙළන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව නොසඟවා හෙළි කළෙමු. මේ නිසා අපට දේශද්‍රෝහී ලේබලය අලවනු ලැබීය. එය ද්‍රෝහීකමක් නම් අපි ඒ ලේබලය ආඩම්බරයෙන් පැලඳ ගනිමු.
ද සන්ඩේ ලීඩර් පත්‍රයට දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතැයි බොහෝ දෙනා සැක කරති. එහෙත් එවැනි දෙයක් නැත. අප විපක්ෂයට වඩා වැඩියෙන් ආණ්ඩුව විවේචනය කරනවා යැයි චෝදනාවක් තිබේ. ඒ, පන්දු රකින පැත්තට පන්දු යැවීමෙන් පලක් නැතැයි අප විශ්වාස කරන බැවිනි. (ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති පරිහාස යෙදුමක් භාවිත කිරීම ගැන සමා වෙන්න.) අමතක කරන්න එපා! එජාපය බලයට පත්ව සිටි වසර කීපය තුළ අප පුවත්පත ගෙන ගිය ආකාරය ඔවුන්ට සම මත ඇනුනු ලොකු කටුවක් සේ දැනුනු බව. ඒ කාලයේ දිත් අපි ඔවුන් නීතියට පටහැනිව කළ ක්‍රියා හා දූෂණයන් ඇති වු සැම තැනකදීම හෙළිදරවු කෙළෙමු. එකල අප විසින් එකදිගට හෙළිදරවු කළ ඒ දේවල් නිසා ඔවුන්ගේ පාලනය බිඳවැටීම ඉක්මන් කරවන්නට ඇති.
යුද්ධයට අප තුළ ඇති අප්‍රසාදය පළ කිරීම අප කොටින්ට සහය දෙනවා යනුවෙන් අර්ථකථනය නොකළයුතුය. එල්ටීටී සංවිධනය මේ මිහිපිට ඇති වූ අනුකම්පා විරහිත, ලේපිපාසිත සංවිධාන අතර ඉහළ තැනක සිටින්නකි. ඔවුන් සහමුලින්ම විනාශ කර දැමීම ගැන විවාදයක් නැත. නමුත් එසේ කිරීමේ දී දෙමළ පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින්, බෝම්බ දැමීමෙන්, අනුකම්පා විරහිතව ඔවුන්ට වෙඩි තබමින් ක්‍රියා කිරීම වැරදි වනවා පමණක් නොව, මේ වනචාරී ක්‍රියාදාමය සදාකාලිකව ප්‍රශ්න කෙරෙන, ධර්මයේ සදාකාලික ආරක්ෂකයන් කියා ගන්නා සිංහලයන් ලජ්ජාවට පත් කරන්නකි. මෙයින් වැඩි කොටසක් වාරණය නිසා මහජනතාවට දැන ගන්නට ලැබෙන්නේ නැත.
මෙයට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු පිහිටු වීම නිසා ඒ ප්‍රදේශවල දෙමළ ජනයාට ආත්ම ගෞරවය අහිමි වී දෙවැනි පන්තියේ පුරවැසියක් ලෙස සදාකාලිකව ජීවත්වීමට සිදු වි ඇත. පශ්චාත් යුද සමයේ දී සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කොතරම් ඉහළින් ලබා දුන්නත් ඔවුන් සැනසිය හැකි යැයි සිතන්නට එපා! යුද්ධයෙන් වූ තුවාල ඔවුන් තුළ සදාකාලිකව පවතිනු ඇත. එසේම ඔබට අනාගතයේ දී මීට වඩා අමිහිරි වෛරී ඩයස්පෝරාවකට මුහුණ දීමට සිදු වනු ඇත. දේශපාලන විසඳුමකට යායුතු ප්‍රශ්නයක් සදාකාලික ආරවුල් ඇති කරන කුණු වූ තුවාලයක් බවට පත් වනු ඇත.
මම කෝපයටත් කලකිරීමටත් පත් ව සිටිමි. ඒ මන්ද මගේ රටේ වැසියන් බොහෝ දෙනකුට, ඒ වාගේම ආණ්ඩුවේ හැමදෙනාටම, මේ තරම් පැහැදිලිව ලියා තිබිය දී පවා නොපෙනීම ගැනය. මා දෙවතාවක් ම දරුණු ලෙස පහරදීමට ලක්වු බව කවුරුත් දන්නා කරුණකි. තවත් වතාවක් මගේ නිවසට මැෂින් තුවක්කු වර්ෂාවක් පතිත කෙරිණ. උපාසක වෙස් ගෙන රජය ඒ ගැන සොයා බලන බවට පොරොන්දු දුන්න ද මේ ප්රහාරයන් ගැන අවංක පොලිස් පරීක්ෂණයක්, වරදකරුවන් අත්අඩංගුවට ගැනීමක් කිසිවිටෙක සිදු නොවීය. මේ සියලු ප්රහාරයන් රජයේ උවමනාවට සිදු කළ ඒවායයි සිතන්නට මට සිදුවී තිබේ. අන්තිමේදී ඔවුන් මාව මරා දමාවි. මා මරා දමන්නේ රජය විසින් බව මම දනිමි.
උත්ප්රාසය ඇත්තේ මෙතැනයි. බොහෝ දෙනකු නොදන්නා කරුණක් වන්නේ මහින්දත්, මාත් වසර විසිපහක් පමණ මිතුරන්ව සිටිය බවය. ඇත්ත වශයෙන් ම, තවමත් ඔහුට මුල් නමින් අමතන කීප දෙනා අතරින් මම ද කෙනකු යැයි විශ්වාස කරමි. එසේම ඔහු හා කතාබහ කරන විට සුපුරුදු සිංහල වදනක් වූ ‘ඔයා’ කියා අමතමි. පුවත්පත් කතුවරුන් සඳහා වරන්වර පවත්වන හමුවීම්වලට මම සහභාගි නොවන නිසා කෙසේ හෝ මසකින් පමණ හමුවීමට නොලැබුණහොත් පුද්ගලිකව අප දෙදෙනා හෝ සමීපතම මිතුරන් කිප දෙනකු සමග හෝ ජනාධිපති මැඳුරේදී මහ රෑ සුහද කතාබහක යෙදීම අපේ සිරිතය. එහි දී අපි විහිළු කතා කියා විනෝද වෙමු; දේශපාලනය ගැන කතා කරමු, අපේ සොඳුරු අතීතයේ සිදුවූ රසකතා මෙනෙහි කරමු. ඒ නිසා මෙහි දී ඔහු වෙනුවෙන් කරුණු කීපයක් කීම මෙතැනට ගැළපේ යැයි සිතමි.
මහින්ද, අන්තිමේදී ඔබ 2005 ශ්‍රිලනිප ජනාධිපති නාම යෝජනා සඳහා සටන් කළ වේලේ මෙම තීරුව තරම් ඔබට සහය දුන් වෙනත් කිසිවක් නොවීය. ඔබව මුල් නමින් අමතමින් දශකයක පමණ කාලයක පැවති සම්ප්රදාය බිඳ දමමින් මානව හිමිකම් හා ලිබරල් සාරධර්ම සඳහා ඔබේ කැපවීම සිහිපත් කරමින් අපි ඔබව නැවුම් හුස්මක් ලෙස එදා මේ තීරුවෙන් පිළිගත්තෙමු. එසේ තිබිය දී ඔබ ගත් අමන පියවරක් නිසා හෙල්පින් හම්බන්තොට සෝලියෙහි පැටළුණි. අපි ඒ ගැන ඉතා පරිස්සමෙන් විමසා බලා, තවදුරටත් ගැඹුරින් සිතා මතා අවසානයේ දී එය හෙළිදරවු කෙළෙමු. ඒ අතර ම එම මුදල් ආපසු යවන ලෙස ඔබට ආයාචනා කෙළෙමු. ඔබ එසේ කළේ සති කීපයක් පමා වීමෙන් පසුවයි. ඒත් ඒ වන විටත් ඔබේ කීර්ති නාමයට විශාල පහරක් එල්ලවී තිබුණි. ඉන් ගැලවීමට ඔබ තවමත් උත්සාහ කරන බව පෙනේ.
ඔබ ජනාධිපතිකමට ගිජු නොවූ බවත්, ඒ පසුපස හඹා යාමට අවශ්‍ය නොවූ බවත්, එය ඔබේ ඔඩොක්කුවට කඩා වැටුණු බවත්, ඔබම මට කියා ඇත. එසේ ම ඔබේ පුතුන් ඔබේ ලොකුම සතුට බවත්, රාජ්‍ය යාන්ත්‍රණය සහෝදරයන්ට බාර දී දරුවන් සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීම ඔබේ එකම ආසාව බවත් ඔබම මට කියා ඇත. දැන්, මගේ පුතාලාටත් දුවටත් තාත්තා කෙනකු නැති කිරීමට තරම් ඒ යාන්ත්‍රණය කොතරම් හොඳින් ක්‍රියාත්මක වී ඇත්ද යන්න දකින සියලු දෙනාටම පැහැදිලිව පෙනෙන කරුණකි. මගේ මරණෙන් පසු ඔබ නොයෙක් උපාසක බස් දොඩමින් ඒ පිළිබඳව කඩිනමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කරනු ඇත. කලින් නියෝගවල දී මෙන්ම මෙහිදීද කිසිවක් සිදුවන්නේ නැත. ඒ නිසා ඇත්ත කිවයුතුය. මගේ මරණය පසුපස සිටින්නේ කවුරුන්දැයි අපි දෙදෙනාම දනිමු. ඒත් ඒ නම හෙළිදරවු නොකරන්න පරිස්සම් වෙන්න. මගේ ජීවිතයට තර්ජනයක් වූවා සේ එය ඔබේ ජීවිතයටත් තර්ජනයක් වේවි. ඔබේ කුඩා කාලයේ අපේ රට ගැන ඔබ මැවූ සියලු සිහින වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දි සුන්බුන් කර දැමීම ගැන කනගාටුවෙමි.
දේශප්‍රේමයේ නාමයෙන් ඔබ මානව අයිතිවාසිකම් පාගා දැමුවේය; පාලනය කළ නොහැකි දරුණු දූෂණයක් පෝෂණය කළේය; වෙනත් කිසිම ජනාධිපතිවරයකු නොකළ තරම් මහජන මුදල් කාබාසිනියා කළේය. ඇත්තටම නම්, ඔබේ හැසිරීම සෙල්ලම් බඩු කඩයකට මුදා හළ කුඩා දරුවකුගේ වගේ විය. එම උපමාව එක් අතකට වැරදි විය හැකිය. ඔබ කළ තරම් රුධිර ගංගාවක් මේ බිම මත හළන්නට හෝ පුරවැසියන්ගේ අයිතිවාසිකම් මෙපමණ පාගා දමන්නට කිසිම දරුවකුට කළ නොහැකි නිසාය. කෙසේ වෙතත්, දැන් ඔබ බලයෙන් මත්වී සිටින නිසා මේවා ඔබට පෙනෙන්නේ නැත. ඒ තරම් පොහොසත් ලේ උරුමයක් ඔබේ පුතුන්ට උරුම වීම ගැන ඔබට පසුතැවීමට සිදු වනු ඇත. මා ගැන කියන්නේ නම්, මට නිරවුල් හෘද සක්ෂියක් ඇතිව මගේ මැවුම්කරු වෙත යා හැකිය. මා ප්‍රාර්ථනා කරන්නේ ඔබටත් ඔබේ වෙලාව ආ විට එසේ යා හැකි වේවා කියායි.
මට නම්, කොන්ද කෙළින් තියාගෙන, කිසිවකුටත් හිස නොනමා වැඩ කළ බව දන්නා නිසා තෘප්තියක් ඇත. මම මේ ගමනේ මෙතෙක් දුර ආවේ තනිවම නොවේ. මගේ පත්රකලා සගයන් වෙනත් මාධ්‍යවලින් මා සමග ගමනට එක්ව සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනකු දැන් ජීවතුන් අතර නැති අතර ඇතැම් අය නඩු නැතිව සිරගත කර තිබේ. තවත් අය දුර රටවල පිටිවහලුන් ලෙස ජීවත්වෙති. අනිත් අය ඔබ කලක් වෙහෙසී සටන් කළ නිදහස මත වැටුණු ඔබේ ජනාධිපති ධූරය දැරූ මරණයේ සෙවණැල්ල යට ගමන් කරති. මගේ මරණය සිදුවූයේ ඔබේ රැකවරණය යටතේ බව ඔබට කිසිදාක අමතක කිරීමට නොහැකිවනු ඇත. ඔබට ඒ මනස්තාපයෙන් ගැලවිය නොහැකි බව මම දනිමි. එසේ ම මගේ මිනීමරුවන් ආරක්ෂා කිරීම හැර වෙනත් විකල්පයක් ඔබට නැති බව මම දනිමි. ඒ නිසා වරදකරුවන්ට කිසිවිටෙක දඬුවම් නොදෙනු ඇත. මම, ඔබ හා ශිරන්ති ගැන කනගාටු වෙමි. ශිරන්තිට ඊළඟ පාපෝච්චාරණයේ දී බොහෝ වේලාවක් දණින් වැටී සිටීමට සිදුවනු ඇති. ඒ ඇගේ පව්වලට පමණක් නොව, ඔබ පදවියේ ඔසවා තබා ගැනීමට ඇගේ පවුලේ අනෙක් උදවිය කළ පාප ක්‍රියා හේතුවෙනි.
ද සන්ඩේ ලීඩර් පාඨකයන්ට මට කීමට ඇත්තේ අපේ මෙහෙවරට සහය වීම ගැන ‘ඔබට ස්තූතියි!’ යන්න පමණකි. අපි ජනප්‍රිය නොවන හේතූන් සඳහා පෙනී සිටියෙමු; තමන් වෙනුවෙන් ඉදිරිපත් වීමට නොහැකි දුබල අය වෙනුවෙන් සිට ගතිමු. තමන්ගේ මුල අමතක කළ, බලයෙන් හිස් උදුම්මාගත් බලසම්පන්න හා උසස් පුද්ගලයන් වූ පාලකයන් සමග අංඅවුළුවා ගතිමු. දූෂණය පමණක් නොව, ඔවුන් ඔබ හැම ඉතා අමාරුවෙන් උපයා ගත් බදු මුදල් කාබාසිනියා කර දැමූ හැටි හෙළිදරවු කෙළෙමු. ඔවුන්ගේ ප්‍රචාරණය කුමක් වුවත් ඊට ප්‍රති විරුද්ධ මතය ඔබට අසන්නට සැලැස්වීමු. ඒ සඳහා මමත් - මගේ පවුලත් - බොහෝ කලක සිට ගෙවිය යුතු යැයි දැන සිටි වන්දිය දැන් ගෙවා ඇත. මම හැම විට ම ඒ සඳහා සූදානම්ව සිටියෙමි. එය වළක්වා ගැනීමට මම කිසිවක් නොකෙළෙමි. මට ආරක්ෂාවක් නැත. පරිස්සම් වීමට වැඩ පිළිවෙළක් නැත. මට අවශ්‍ය වන්නේ, මිනිස් පලිහක පිටුපස සැඟවී සිටිමින් දහස් ගණනක් අහිංසකයන් මරා දැමූ මගේ මිනීමරුවාට මා ඔහු මෙන් බියගුල්ලකු නොවන බව කියන්නටය.
මරණයට පත් අහිංසකයන් අතර මම කවුද? මගේ ජීවිතය උදුරා ගන්නා බවත්, ඒ කරන්නේ කවුරුන් විසින් ද යන්නත් බොහෝ කලකට පෙර මවිසින් ලියා ඇත. තවත් ඉතිරිව ඇත්තේ එය සිදු කරන්නේ කවදාද කියා ලියන්නට පමණය. ද සන්ඩේ ලීඩර් මේ යහපත් සටන දිගට ම කර ගෙන යනු ඇති. මම මේ සටන කළේ තනිවම නොවෙයි. ද ලීඩර් පත්‍රය නවත්වනතුරු තවත් බොහෝ දෙනෙකු මරණය අත් වනු ඇති, නැතිනම් මරා දමනු ඇති. මාගේ මරණය නිදහසේ පරාජයක් සේ සිතිය යුතු නැත. දිවි රැක ගෙන මේ කාර්යයේ යෙදෙන්නන්ට ඔවුන්ගේ ක්‍රියාවන් වේගවත් කරන්නට ධෛර්යයක් වේවි. ඒ වගේ ම අපගේ ආදරණීය මාතෘ භූමිය තුළ මානව නිදහසේ නවයුගයක් උදා කරන්නට වෙර දරන බලවේගයන්ට ශක්තියක් හා උත්තේජනයක් වනු ඇතැයි මම සිතමි. එසේ ම දේශප්‍රේමයේ නාමයෙන් කොතරම් සංඛ්‍යාවක් ඝාතනය කළත් මානව ධෛර්යය වර්ධනය වීම නවතාලන්නට නොහැකි බව ඔබේ ජනාධිපතිවරයාට මෙයින් පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි. රාජපක්ෂලා හැම දෙනාම එකතුවුනත් එය මරා දැමිය නොහැක.
ජනතාව නිතරම මගෙන් අසන්නේ මෙවැනි අවදානමක් ගන්නේ ඇයි ද? කොයි මෙහොතේ හෝ ඔබව මරා දමාවි කියායි. ඇත්තෙන්ම මම එය දනිමි. එය වැළක්විය නොහැකියි. මේ අවස්ථාවේ අපි කතා නොකළොත්, ඔවුන් සුළු ජනවාර්ගික වේවා, වරප්‍රසාද අහිමි වු අය වේවා, පීඩාවට පත් අය වේවා, ඔවුන් වෙනුවෙනු කථා කරන්න කෙනෙක් නැති වේවි.
මට මෙහි දී මගේ සිතට තදින් කාවැදුණු, මගේ වෘත්තීය පත්රකලා ජීවිතය පුරා ම මා දිරිමත් කළ එක නිර්මාණයක් මගේ මතකයට නැඟෙයි. එය ජර්මන් දේවධර්මාචාර්යවරයකු වූ මාටින් නීමලර්ගේ කවියකි. තරුණ වියේ දී ඔහු යුදෙව් විරෝධීයෙකි; හිට්ලර් අගය කළ අයෙකි. නාසිවාදය විසින් ජර්මනිය ග්‍රහණයට ගත් පසු එහි ස්වභාවය ඔහුට අවබෝධ විය. හිට්ලර්ට අවශ්‍ය වූයේ යුදෙවුවන් මරා දැමීම පමණක් නොවේ, එය තමන්ට එරෙහිව එන විකල්ප මතධාරීන්ට ද ඒ ඉරණම ම ලබා දුන්නේය. නීමලර් කට ඇරියේය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට 1937 සිට 1945 සිරකරුවකු ලෙස සැච්සෙන්හෝසන් (Sachsenhausen) සහ ඩකොව් (Dachau) සිරකඳවුරුවල නොමරා මැරෙන දුකක් විඳින්නටය. සිරගතව සිටියදී නීමලර් කවියක් ලීවේය. ගැටවර වියේ දී මුල්වරට කියවන්නට ලැබුණු වේලේ ම මගේ සිතට තදින් කා වැදුණු ඒ කවිය මෙසේය:
මම කතා නොකළෙමි,
ඒ මම යුදෙව්වෙකු නොවූ නිසා ය.
මම කතා නොකළෙමි,
ඒ මම කොමියුනිස්ට්වාදියකු නොවු නිසාය.
මම කතා නොකළෙමි,
මම වෘත්තීය සමිතිකාරයෙක් නොවූ නිසාය.
මා වෙනුවෙන් කතා කිරීමට
කිසිවෙක් ඉතිරිව සිටියේ නැත.
ඔබ වෙන මොන දේ අමතක කළත් මේ දෙය අමතක නොකරන්න: ද ලීඩර් පත්‍රය නිරතුරුවම ඔබ වෙනුවෙන් සිටින බව. ඔබ සිංහල වේවා, දෙමළ හෝ මුස්ලිම් වේවා, පහත් කුල, සමලිංගික, විසංවාදී හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයකු වේවා, ද ලීඩර් කාර්ය මණ්ඩලය, හිස කෙළින් තබා ගෙන අභීතව, ඔබ දැනටමත් දන්නා පරිදි ඉමහත් ධෛර්යයෙන් යුතුව ඔබ වෙනුවෙන් සටන් කරන්නට කැපවී සිටින බව. ඒ කැපවීම සුළුකොට තකන්න එපා! පත්රකලාවේදීන් ලෙස අප මේ මොන කැපකිරීම් කළත් ඒවා කරන්නේ අපේ කීර්තියටවත්, ධනවත්වීමටවත් නොවේ. ඔබේ යහපත වෙනුවෙනි. ඒ කැපකිරීම් ලබන්නට ඔබ සුදුස්සෙක් ද යන්න වෙනම ප්රශ්නයකි. මා ගැන නම්, දෙවියන් වහන්සේ මා ඒ සඳහා උත්සාහ කළ බව දනිති.
පසු සටහන 2 : ලසන්තගේ මේ අවසාන තීරු ලිපිය සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ වූයේ ඔහුගේ මරණයෙන් දින තුනකට පසුවය. ඔහු එහිදී පොරොන්දු වූ පරිදි ‘ද සන්ඩේ ලීඩර්’ පත්‍රයට ඒ මතය දිගට ම පවත්වාගෙන යන්නට නොහැකි විය. පාලක පක්ෂයේ තර්ජන කිරීම් මැද එය ඔවුන්ගේ හිතවතකුට විකුණා දැමීමට සිදු විය. ඉන්පසු සිදුවුණේ එතෙක් සිදු වූ හැම දෙයට ම සමාව ඉල්ලා අවසානයේ පත්‍රය මුද්‍රණය නවතා දැමීමය.
0 Comments